Powered By Blogger

Tuesday, August 28, 2012

යථාර්තය

                                                                                                                           
නැගී සිටින්නට නැත දෙපා වාරුව,
නොහැකිය පා තබන්නට ,
නොමැති කළ සැරටිය ..
වේදනාවෙන් මිරිකීගිය වෙවුලන අතපය,
කියයි පලක් නොමැති බව මගෙන් තව දුරටත්...
රැලි වැටුණු මුහුණ හා දත් නොමැති කට මගේ,
දසුනක්ය පිළිකුල් සැවොම අකමැති..
වුවත් අප්‍රියකර මහල්ලෙකු දැන් මා,
හැඩි දැඩි තරුණයෙකි පෙර සිටි,
හිටියා බොහෝ පිරිවර දස අත,
නොමැති මුත් සතෙකු වත් දැන් ළඟ,
තිබුණා යකඩ මෙන් අතපය,
දැන් දිරා ගිය කොටු මෙන් ඇති,
සිනාසෙන කල දෙකම්මුල් පුම්බා,
සැවොම බැලුවා මදෙස ප්‍රීතියෙන්,
දැන් කව්ද බලන්නේ 
රැලි ගැසුණු,
මස් දියවුණු, මුහුණ  දෙස මගේ,
සුදු වී ගිය හිස කෙස් දෙක තුනක් ඇති,
තට්ටය පෑදුනු හිස,
කෙසේ පවසයිද 
සිටි බව මා  රූපත් තරුණයෙක් වී...
නැති උනා සියලු දේ 
හැර කල හොඳ නරක මා,
ටික දිනකි තව ඇත්තේ,
යාමට මිනී වල වෙත,
ඉවසීමෙන් බලා හිදිමි,
එනතුරු මරුවා මා  රැගෙන යාමට....


Saturday, August 25, 2012

දල්වනු මැනවි ප්‍රඥා ප්‍රදීප



දත් නොමැති කුඩා කට
රෝස පෑ දෙතොලින් වටකර,
නගන විට සිනාව සුරතල් බිලිඳා..
දෙව් ලොවක සිරි ගනී වටපිට......
පැහැදිලිය පිනිබින්දුවක් මෙන්
නැත කිසිදු දුහුවිලි
ඊර්ෂියාවේ වෙරයේ ,
වැටුණු කල මෙන් උදැසන හිරු එලිය එය මත,
දිදුලයි ඔහුගේ හදවත,
දුටුවිට මවගේ මුහණ.....
තුරුළු වී ඇගේ උණුහුමට ඇකයේ
නිදන මුත් නුඹ
මවමින් සුන්දර සිහින ,
දුෂ්ඨත්වයේ අඳුරු සෙවණැලි,
පැමිණෙයි වෙලා ගන්නට නුඹව කවදා හෝ,
දල්වා ප්‍රඥාවේ ප්‍රදීපය එවිට,
කරනු මැන දුරු,
සෙවණැලි අඳුරු වූ ,
නුඹ ගිල ගැනීමට එන....

Thursday, August 23, 2012

හිඟන කොලුවා





උදේම නැගිට වටපිට බලන විට
පෙනෙයි කුණු කඩමලු දස අත....
විසිරී ඇත කැලි කසල , රොඩු කෑලි ,
නොවුවද ප්‍රිය දසුන්,
සිටිනා මා  මෙන් උන්
වැරහැලි හැඳ තැනින් තැන,
කුණු කෙල පෙරමින් නිදන..
නුපුරුදු දසුනක් නොවේ මෙය මට,
උදැසන පිබිදෙන කලට...
කුඩා කොලු පැටවුන්  තිදෙනෙකු වූ සොයුරන් සමඟ
ගුලි වී නිදයි අම්මා තවමත් කොනක..
දොවා මුහුණ කට වතුර බෝතලයෙන්
සිලි උරය අතට ගෙන
සැරසුනෙමි හිඟමනට වෙනදා මෙන්..
කිරි කොකුන් මෙන් හැඳ පැළඳ ,
ළමුන් පාසල් යන කලට,
ඇති නොවෙයි ආසාවක් පෙර මෙන් මගේ සිතට..
" ඉගෙන ගත්තයි කියා කුමක් කරන්නද මම,
ඉගෙන ගත්ත උන්  පවා හිගමන් යදින විට "
අවැසි වන්නේ මට කාසි පමණෙකි,
කුසට යමක් පුරවා ගන්නට......




Wednesday, August 22, 2012

බලාපොරොත්තුව ................











           ජිවිතයේ අපිට නොයෙක් බලාපොරොත්තු  තියනවා..ඇත්තට ම බලාපොරොත්තු කියන්නේ අපේ සිහින.පුංචි කලේ ඉදන් අපි සිහින මවනවා. ලොකු අය වුනාම මෙහෙම වෙනවා, මේ විදියට ඉන්නවා , ඒ වගේ. ඉතින් අපි ටි‍ක ටික ලොකු වෙනකොට ඒ සිහින සමහර ඒවා සැබෑ කර ගන්නවා . සමහර ඒවා නෑ.
          හිතලා බලන්න .. ජිවිතයේ අපි තාම එච්චර කාලයක් ගත කරලා නෑ.එත් දැනටමත් අපි කොතරම් බලාපොරොත්තු, සිහින මවලා තියනවද කියල.. ඒ කලින් සිතු දේවල් කොපමණ ඉටු කරගෙන තියෙයි ද..?
           බලාපොරොත්තුවක් ඉටුවෙන මොහොතක හිතට දැනෙන සතුට කොච්චරද?ඒවගේම බලාපොරොත්තුවක් ඉටුවෙන්න ඔන්න මෙන්න කියල තියෙන කොට හිතට දැනෙන නොඉවසිල්ලත්.මේවා ගොඩක් රසවත් හැගීම්.ජිවිත්වෙනකොට අපි ඒවා විදින්න ඕනා.
            ඇත්තටම ජීවිතය ජිවත් වෙන්න, ජීවිතය විදින්න බලාපොරොත්තු කියන දේවල් තියෙන්නම ඕන.එහෙම නැත්තම් ජීවිතය කියන්නේ නිකම් ම හිස් පාළු කාන්තාරයක් වගේ. කිසිම තේරුමක් නෑ.නිකම් ම හිස් බවක් විතරයි. අපිට ජිවත් වෙනවා කියලා දැනෙන්නේ බලාපොරොත්තු ඇති තැන තමයි.
           හ්ම්ම්ම්ම් ... බලාපොරොත්තුවයි ආශාව නැත්නම් තණ්හාව අතරේ ලොකු සම්බන්ධයක් තියනවා කියලා මට හිතෙනවා.අපි යම් දෙයක් ගැන බලාපොරොත්තු ඇති කරගන්නේ ඒ දේ ගැන තියන ආශාවෙන් නෙවෙයි ද? එක නිසා බලාපොරොත්තු කඩ වුනාම අපිට සමහර වෙලාවට දරාගන්න බැරි තරම් දුකක් වේදනාවක් ඇති වෙනවා. එහෙම බලපුවාම බලාපොරොත්තු නිසා අපිට සිද්දවෙන්නේ හොදක් නෙවෙයි. එත් ඒවා නැතුව අපිට ජිවත් වෙන්නත් බෑ.
           ඕනෑම දෙයක් ඕනවට වැඩ ඕන නේ කියනව වගේ වැඩිපුර බලාපොරොත්තු  තියාගත්තොත් ඒකෙන් අපට වෙන්නේ නොහොදක් මයි.ඒ වගේම තමයි නොලැබෙන දේවල් ගැනයි තමන්ට කරන්න බැරි දේවල් ගැනයි බලාපොරොත්තු තියාගන්න එක.එකෙන් අපේ ජිවිත වලට ලැබෙන්නේ කලකිරීමක් විතරයි.
           බලාපොරොත්තුවක් කඩ වෙනවා  කියන්නේ ජීවිතය නැති වෙනවා කියන එක නෙවෙයි.   අපිට ජිවිතයේ ඕනා තරම් බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන් . එත් අපිට ලැබෙන්නේ එක ජිවිතයක් විතරයි. සමහරු බලාපොරොත්තුවක් නිසා මුළු ජිවිතයම නැති කර ගන්නවා.එක නුවණැති වැඩක නෙවෙයි.
           බුද්ධිමත් මිනිස්සු විදියට අපි දන ගන්න ඕන අපේ ජිවිත වලට එක බලාපොරොත්තුවක් අහිමි උනාම ඒ මත්තෙම වෙලපෙන්නේ නැතුව එතනින් ගොඩ එන්න. ඒ වගේම අපේ ජිවිත සාර්ථක කර ගන්න. එතකොටයි අපට අපේ ජිවිත වල සැබෑ අරුත දැන ගන්න පුළුවන් වෙන්නේ.....

Saturday, August 4, 2012

සමාව දෙන්න



මිනිස්සු කියන්නේ අනිත් හැම සතෙකුටම වඩා හැම අතින් ම දියුණු ජීවින් කොටසක් . මිනිස්සු මිනිස්සු අතරේ          යම් යම් වෙනස් කම් තියෙන්න පුළුවන්. ඒත් සමහර දේවල් හැම මිනිසෙකුටම පොදුයි. සමාව ඉල්ලන එකත් අන්න ඒ වගේ. ඇත්තටම ඒ වචනයට ගොඩක් දේවල් කරන්න පුළුවන්.
   ම්ම්ම්ම්.... ඇයි අපි සමාව ඉල්ලන්නේ? " මට සමාවෙන්න" නැත්තම් "sorry" කියන වචනයෙන් ගොඩක් දේවල් අර්ථ ගැන්වෙනවා. සමහර විට අපි ඇත්තටම වරදක් කරලා ඒ වරද පිළිගැනීම ඉන් අදහස් වෙන්න පුළුවන්.හැබැයි වරදක් කරලා නැවත නැවත ඒ වරද්ද කරනවා නම් ඒ සමාව ඉල්ලන එකේ තේරුමක් ඇත්තේ නෑ. තවත් විටක අපි දන්නවා අපි වැරද්දක් කරලා නෑ කියලා. එත් සමාව ඉල්ලන අවස්ථාවල් ජිවිතයේ තියනව නේද? ඒ අපි ඒ මොහොතේ සමාව ඉල්ලුවේ නැත්තම් ඒ පුද්ගලයන් එක්ක තියන යාළුකම, මිත්‍රත්වය නැතිවෙන්න පුළුවන් නිසා.
    වරදක් කලාම ඒක තේරුම් අරගෙන අඩුගානේ සමාව වත් ඉල්ලන ඒක ලොකු දෙයක්.එත් සමහරුනම් හිතනවා ඒක තමන්ට මදි කමක් කියලා.ඇත්තටම සමාව ඉල්ලන්න තැනගේ හිතේ තියන ආඩම්බර කම, ලොකු කම පැත්තකින් තියන්න ඕන.සමහර අයට පුළුවන් තමන්ට වඩා උසස් අයගෙන් සමාව ගන්න. ඒත් තමන්ට වැඩ දුප්පත් මිනිහෙකුට වරදක් කරලා සමව ගන්න ඒ අයට බෑ.
     ඒවගේම අහල තියෙනවා නේද සමාව දීම දේව ගතියක් කියලා. සමාව ඉල්ලනවා වගේම සමාව දෙන එකත් එච්චර ලේසි දෙයක් නෙවෙයි.එකට අපි ගොඩක් නම්‍යශීලි වෙන්න ඕන.
     මෙහෙමත් දෙයක් තියනවා හැබැයි. තවත් සමහරු හිතන් ඉන්නවා ඕනෑම වරදක් කරලා සමාව ගන්න පුළුවන් කියලා. ඒ වුනත් , සමාවෙන්න කියන වචනයෙන් අපි තවත් කෙනෙක් ගේ හිතේ ඇති කරපු තුවාලයක ලප කැළැල් සම්පුර්ණයෙන් මකා දන්න අපිට බෑ. වෙනත් කෙනෙක් ගේ ජිවිතයේ අපි ඇති කරපු පාඩුවකට වන්දි ගෙවන්නත් ඒ වචනයෙන් බෑ. එකෙන් කරන්න පුළුවන් දහඩිය දැම්මාම පිහාටුවකින් පවන් සලනවා වගේ පුංචි අස්වැසීමක් විතරයි. ඒ හින්ද අපිට කරන්න පුළුවන් හොදම දේ මට" සමාවෙන්න" කියලා අනිත් අයට කියන්න වෙන වැඩවලින් හැකිතාක් ඈත් වෙන ඒක..