Thursday, September 27, 2012

මතකයන්..................

         





            මේ ලෝකේ අපිට සිද්ධවෙනවා බලාගෙන ඉන්න බැරි දේවල් ගොඩක් තියනවා.ඒත් අපිට සමහර දේවල්  සිදුවෙන එක වලක්වා ගන්නත් බෑ.
             මගේ අම්මා ශල්‍යකර්මයකට මුණ දීපු දවස මගේ ජිවිතයේ මට ඒවගේ දෙයක් සිදුවුන දිනයක්.ශල්‍යකර්මයකදී අපි දන්නේ නැනේ මොනවයින් මොනවා වෙයිද කියලා.අනික ඒකට මුහුණ දීපු පුද්ගලයා එසේ මෙසේ කෙනෙක් නෙවේනේ. ඒ මගේ අම්මා. මගේ ජිවිතයේ වටිනාම පුද්ගලයා.
            අම්මා ළග නතර වුනේ මම.දොස්තරලා බය වෙන්න එපා කිව්වට ඒක බය නොවී ඉන්න පුළුවන් තරම් කාරණයක් වුනේ නෑ.අම්මගේ හිතෙත් බයක් තියෙන්න ඇති. ඒත් ඒක මට නම් ඇය පෙන්නුවේ නෑ.හැමවෙලේම හිනා වේවි ඒක ඒක කතා කියා කියා හිටියා.ඒ සමහර විට මම දුක් වෙයි කියලා හිතලා වෙන්න ඇති.
              ශල්‍යකර්මය කරන දවසේ ඔන්න හෙදියෝ කීප දෙනෙක් ඇවිත් අම්මව  ඒකට ලෑස්ති කරලා ට්‍රොලියක දැම්මා.අම්මව ශල්‍යාගාරයට අරගෙන යද්දී මගේ දිහා බලාගෙන හිටපු විදිය මට තාමත් මටක් වෙනවා. ඒ බැල්ම දිහා බලාගෙන ඉන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ ආපහු කාමරේට ගිහින් අඬනවා ඇරෙන්න. හැම වෙලාවේම  මගේ අම්මට බුදු සරණයි කියලා හිතෙන් පැතුවා.
                වෙලාව තත්පරෙන් තත්පරය ගත වුනා.මට නම් දැනුනේ ඒක මහා කල්පයක් වගේ. වෙනදට ඔරලෝසුව දිහා ඒක පාරක් බලලා අයෙ පාරක්  බලද්දී වෙලාව ගිහින් ඉවරයි. ඒත් එදා තත්පර කට්ටයි විනාඩි කට්ටයි වැඩ කලේ නැති ගානයි. හැමදේටම වඩා වැඩි වේගයෙන් මගේ හදවත නම් ගැහි ගැහි තිබුණා.
                  අම්මෝ .. ඒ වෙලාව මතක වෙද්දී නම් තාමත් මොකද්ද වගේ. කොහොම හරි පැය දෙකකට විතර පස්සේ හෙදියෝ කීප දෙනෙක් අම්මව ට්‍රොලියක දාලා කාමරේට එක්කගෙන ආවා.ඒ වෙලාවේ මට ඇති වුන සැනසීම වචන වලින් විස්තර කරන්න අමාරුයි. අම්මා ඇස් ඇරලා තිබුනත් මාව ඒ වෙලාවේ අඳුර ගන්න පුළුවන් කමක් තිබුනේ නෑ. මට ඒ දිහා බලාගෙන ඉන්න ගොඩක් අමාරු වුනා.මොකද හැමදාම අපිව දැක්කම
සෙනෙහෙබර බැල්මකින් අපි දිහා බලන අම්මා අද හිස් බැල්මකින් මම දිහා  බලන් ඉන්න නිසා.
                 කොහොම හරි පහුවදා උදේ වෙද්දී අම්මා මට කතා කළා.අම්ම ළග ඉදගෙන  අම්මට සාත්තු කරපු ඒක මට ලොකු ආඩම්බරයක් වුනා.මොකද පුංචි කලේ එයත් ඒ විදියටම ඊට වඩා හොදින් මාව බලාගන්න ඇති. මට කරපු දේ වලට පුංචි හරි කළගුණ  සැලකීමක් කරන්න පුළුවන් වුන ඒක කොච්චර දෙයක් ද?  
         කොහොම වුනත් සිදු වුන හැම දෙයක් ම මගේ ජිවිතයට ලොකු අත්දැකීමක් වුනා.....
                   

Saturday, September 15, 2012

සරණක් සොයන ළඳ




දැක සේයාව මිරිඟුවෙහි
අතහැර දැම්මාය යථාර්ථයේ ගිනි සිළුව
ඇවිද යන්නට සිදුවිය ඉබාගාතේ,
සොයමින් සහනයේ පැන් පොදක් ,
වියලි ගිය සිත තෙමා ගන්නට....
සමුවිය පානයක් රන් මංජුසාවක බහා
මිහිරි යයි පෙනුන,
බිව්වාය ඇය එක හුස්මට ,
දෙවරක් නොසිතාම...
අහෝ...!
සිදුවිය වැටෙන්නට
පතුලක් නොමැති ලිඳකට
ගොඩවිය නොහැකි කෙදිනක හෝ..
දැගලුවා ඇය කෑ ගසමින් ,
අවට උන්ගෙන් උදව් පතමින්,
අනේ කරුමේ ...යෙයි කියා
මග ඇරියවුන් මිස
නැත කිසිවෙකු උන්නේ
ඇයව ගොඩ ගැනීමට ..........

 කෙනෙකු කරදරයක වැටුණ විට උදව්වට පැමිණෙන්නේ ඉතා සුළු පිරිසක් . ගොඩක් වෙලාවට හැමෝම කරන්නේ ඒ දිහාබලලා දුක් වෙන එක විතරයි.. එහෙම නේද?

Thursday, September 6, 2012

පුංචි දියණිය





පිපී ගිලිහුනු සුවඳවත් මල්
වසාගද්දී වැලි තලාවන්
සිතේ තෙරපී සිතට වද දුන්
නිහඩ සිතුවිලි එලි බසී..

සිනා මල් දම් ගොත සැරසු ගෙඋයන් ,වතුපිටි එදා..
හඩයි සිහිවී චුටි දෝණිගේ අවමගුල සිහිවී මෙදා....
කෙලි කවටකම් වලින් අප සැම සිනා සයුරේ ගිල්වමින් ..
දැමු ඇගෙ දඟකාරකම් අද ඇත කොහේදෝ සැඟවෙමින් ...

පහන නිවුනා පුංචි නිවසේ ඔබ පැමිණි දින දැල්වූ ලයේ..
අන්දකාරයි නිවස සැමතැන මාගේ සුරතල් දියණියේ....
ගිරා පැටවුනි, ලේන් පැටවුනි අද නොමැත දූ මේ ගෙහි..
පිටව ගොස් ඇත සුරලෝකේ වෙත දමා තනිකොට අප මෙහි...

තබා ගත් මුත් රුදුරු ශෝකය හිතේ ගුලි කර බැඳ තදින්...
එලි බසී එය දෙමින් රිදුමන් වෙන්කළා මෙන් හිස කඳින් ...
නොයයි කිසිදා නුඹේ මතකය මගේ හදේ ගැඹුරුම තැනින්...
පතන්නෙමි සුව නිර්වාණයේ වැලපෙමින් ගත සිත සොවින්...

මෙවන් විපතක් කිසිඳු භවයක සිඟිති දූ හට යලි නොවේවා
නුඹ උපන් තැන  වාසනාවේ රිදී රේඛා පහල වේවා....
කරන හැමදේ,සිතන හැමදේ සිතන අයුරින් සඵල වේවා...
තවත් භවයක මගේ දුව වී මගේ තුරුලේ නුඹ රැඳේ වා.......